ජනාධිපතිතුමනි පුඵවන්නම්
ඵලය නොව හේතුව විනාශ කරන්න
මෛත්‍රීපාල ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය අපරාධකරුවන්ට එරෙහිව මරණ දණ්ඩණය බලගැන්වීමට ගත් තීන්දුව යළිත් දේශපාලන පොරපිටිය තුළ ද පුරවැසි සමාජය තුළ ද උනුසුම් මාතෘකාවක් බවට පත් වී තිබේ.
නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මහ ඉහළින් පම්පෝරි ගසන රටක, දිනපතා දවස පුරාම බණ දෙසන ගුවන් විදුලි සහ රූපවාහිනි නාලිකා බිහි වී ඇති රටක, එමෙන් ම බුදුන්ගේ ඉගැන්වීම්වල උරුමකරුවන් ලෙස උජාරු බස් දොඩන ජනතාවක් වෙසෙන රටක මත්ද්‍රව්‍ය ඇබ්බැහිකම අතින් ලෝකයේ ඉදිරි පෙළට පැමිණීම මෙන් ම එය මැඩලීම සඳහා යළිත් මරණ දණ්ඩණය සක්‍රීය කිරීමට රටක පාලකයකුට සිදු වීම සහ සැබැවින්ම අවාසනාවන්ත තත්ත්වයකි.
මෙම තත්ත්වය වර්තමාන රාජ්‍ය පාලන ක්‍රමවේදයේ අසමත්භාවය නැවතත් තහවුරු කර දක්වන්නකි. ඉහත සියලු තත්ත්වයන්ගේ බි`ඳවටීම පෙන්නුම් කරන්නකි. ගෙවුණු දශක කීපය තුළ රට දිනෙන් දින අගාධයකට රැගෙන ගිය ආර්ථික හා දේශපාලන ක්‍රියාදාමයන් විසින් කිසිදු සාධනීය සමාජ වෙනසක් අත්පත් කරගත නොහැකි තරමට සමස්ත සමාජ දේහයම දුෂිත බවින් ඔඩුදුවා ගොස් තිබේ.
ජේ.ආර්. ඇටවූ ජාතික උගුල
සීමා මායිම් ලකුණු නොකළ විවෘත ආර්ථිකය විසින් මු`ඵ සමාජ දේහයම කුණු කර තිබේ. ඉන් වඩාත් කිලිටි වී ඇත්තේ දේශපාලන ක්‍රියාවලියය. ඊ ළඟට මාධ්‍ය භාවිතයය. මෙම පද්ධතීන් දෙකම අද නඩත්තු වන්නේ දුෂිත ව්‍යාපාරයන්ගේ අනුග්‍රහයෙනි. රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අති බහුතරය මත් ජාවාරමට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ අය බව රටේ නීතියට අල්ලාගත නොහැකි වූවද රටේ ජනතාවට ඇතැඹුලක් සේ ප්‍රත්‍යක්‍ෂ වී හමාරය. මත් ද්‍රව්‍ය ජාවාරම් මැඩීම සඳහා එවන් දේශපාලන යාන්ත්‍රණයකින් අනුබලයක් ලැබෙතැයි සිතීම මුලාවකි.
මෑතකදී කලුතර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරා්ධි ඉස්කාගාරය කලුතර ප්‍රදේශයේ ප්‍රධාන දේශපාලඥයකුගේ අනුග්‍රහය ලබන්නක් බව අනාරණය වූයේ ඔහු දැනට විපක්‍ෂයේ සිටින නිසා ය. මාධ්‍ය සාකච්ඡාවලට නිතර පෙනී සිටින ඔහු රටේ සමාජ සාධරණත්වය පිළිබද කරන මැදිහත්වීම් හා හොර අරක්කු ජාවාරමේ යෙදීම එකට ගෙන බලන විට රටේ රටේ දේශපාලඥයන් පවත්වාගෙන යන දෙබිඩි රංගනය වටහා ගැනීමට ජනතාවට අපහසු නැත.
පසුගියදා අත්අඩංගුවට පත් වූ මාකඳුරේ මදුෂ්ගේ කටඋත්තරය තුළ සැඟෑවී සිටින ආණ්ඩු පක්‍ෂ සහ වික්‍ෂ දේශපාලන රංචුව කව්දැයි තවම හෙළිදරව් නොකිරීමට වගබලා ගන්නේ ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය දෙකට එකතු වී බව අපට අනුමාන කළ හැකිය. මීගමුවේ සිටින ප්‍රකටම කුඩු ජාවාරම්කරුවා සිටින්නේ රටේ ප්‍රබලයකුගේ සාක්කුවේය. ඔහුට නීතිය විසින් කොටු කර ගැනීමට ගත් ප්‍රයන්තය ව්‍යවර්ථ වූයේ හිටපු ජනාධිපතිවරයා ඔහුගේ ගැලවුම්කරුවා වූ නිසාය.
වයඹ මුහුදු තීරයෙන් කේරල ගංජා තොග පිටින් රටට ඇතුලු වන්නේ රටේ දේශපාලන යාන්ත්‍රණයේ සහ පොලිසියේ අනුග්‍රහය ඇතිවය. සැමවිටම නීතියට කොටු වෙන්නේ එතෙක් මෙතෙක් අල්ලා ගත් විශාලම කුඩු තොගයය. ඒවා සිදු කරන්නේ සාමාන්‍ය පුරවැසියම නොවේ. දේශපාලන අනුග්‍රහයකින් තොරව එවැනි ජාවාරම් සිදු කළ හැකිද?.
ඊළඟට රටේ ජනමාධ්‍ය හිමිකරුවන්ගේ වැඩිපංගුව තිබෙන්නේ මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතය. ඔවුන් දේශපාලන ක්‍ෂේත්‍රයේ ද ප්‍රබල චරිතය. ජේ.ආර්. ජයවර්ධන විසින් ජනමාධ්‍ය භාවිතයට ලබා දුන් ලිහිල් ප්‍රතිපත්තිය නිසා මාධ්‍ය භාවිතය ද එක්තරා ආකාරයක මානසික මත්ද්‍රව්‍ය සැපැයීමක් බවට පත් වී තිබේ. රටේ ප්‍රචලිත ජනමාධ්‍ය බහුතරයකට සංවර්ධනාත්මක ප්‍රවේශයක් හෝ සමාජ වගකීමක් ඇත්තේම නැත. විවේචනාත්මකව ප්‍රවෘත්ති සංදර්ශන පැවැත් වූව ද ඔවුන් එය අවසන් වූ වහා ආරම්භ කරන්නේ මත්ද්‍රව්‍යවලටත් වඩා අහිතකර ටෙලිවැලක් ප්‍රදර්ශනටය. නිර්වින්දනය කරන මානසික මත්ද්‍රව්‍ය ඔවුන්ගේ වැඩසටහන් ආකෘතිය තුළ අන්තර්ගතය.
බොහෝ මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම්කරුවන් ඇතු`ඵ දුෂිතයන් තම කලු සල්ලි සුදු කර ගන්නේ ජනමාධ්‍ය ඇරඹිමෙනි. ඒවා තුළ ස්වාමින් වහන්සේලා විචිත්‍ර ලෙස බණ දෙසති. ඒ තුළින් ජාවාරම්කාර මාධ්‍ය හිමිකරුවන් බැටලු හම්පෙරවා ගනිති. ඔවුන්ට සැබැවින්ම ඇත්තේ වෘක චේතනාවකි. ඔවුන් එසේ උපයා ගන්නා කලු සල්ලිවලින් පල්ලි පන්සල් වලට ද අනුග්‍රහයන් ලබා දෙති. ඒ තුළින් ඔවුන් සියලු පව් දුරු කර ගනිති. ආගමික නායකයෝ ද ඔවුන්ට සෙත් පතති.
මේ තත්ත්වය තුළ මත්ද්‍රව්‍ය වසංගතය මේ රටින් තුරන් කිරීම පහසු නැත. රටේ ප්‍රශ්න විසඳීමට තනි අතින් අප්පුඩි ගසන්නට පටන් ගෙන සිටින වර්තමාන ජනාධිපතිවරයාට මත්ද්‍රව්‍ය අපරාධකරුවන් එල්ලා මරා දැමීමට සිදු වී ඇත්තේ මේ දේශපාලන සහ ආර්ථික ක්‍රියාදාමය එතරමටම අසාධ්‍ය පිළිකාවකින් පෙලෙන නිසා විය යුතු ය. බුදු දහම ගැන උජාරුවෙන් කථා කරන රටක රටේ බරපතල ප්‍රශ්න විසඳීමට දෙවෙනි වරටත් ඝාතනයම යොදා ගැනීමට ගන්නා උත්සාහය මේ තීරණයෙන් තහවුරු වේ.
හේතුව වෙනුවට ඵලය විනාශ කිරීම
රටේ අවුරුදු 30ක් පුරා ඇවි`ඵණු ත්‍රස්තවාදය සමනය කිරීමට බුදු දහමෙන් ලබා ගත් මගපෙන්වීමක් නැත. ඒ සඳහා රජය යොදාගත්තේ ත්‍රස්තවාදියා සමූල ඝතනය කිරීමය. රට වැනසෙන තත්ත්වයට පත් කර කුඩා පාසැල් දරුවන් පවා ගොදුරු කරගත් මත්ද්‍රව්‍ය වසංගතය දුරු කිරීමට ද මත් අපරාධකරුවන් ඝාතනය කිරීම හැර වෙන විසදුමක් නැති බව වර්තමාන ජනාධිපතිවරයාත් තීන්දු කර තිබේ.
බුදු දහමේ මගපෙන්වීම ලබාගෙන ඒ අනුව රාජ්‍ය පාලනය කරන්නේ නම් ඵලය විනාශ කිරීම නොව කළ යුත්තේ හේතුව හඳුනාගෙන එය අහෝසි කිරීමය. 30 අවුරුදු උතුරේ ත්‍රස්තවාදය මර්ධනය කළේත් හේතුව අහෝසි කිරීමෙන් නොව ඵලය විනාශ කිරීමෙනි. එය තවදුරටත් අවසන් වී නොමැත්තේ ඒ නිසාවෙනි. මානව හිමිකම් සංවිධාන බටහිර සංකල්ප ඔස්සේ අවදාරණය කරන්නේ ද මේ ශීෂ්ඨ සම්පන්න මානවාදී බෞද්ධ වටිනාකමය. ඊට එරෙහි වන ජනාධිපතිවරයා භඨධ වලට ද තඩි බාන්නට පටන් ගෙන තිබේ. මරණ දණ්ඩණයට එරෙහිවීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දීමක් ලෙස හුවාදැක්වීම ද අත්තනෝමතික අන්තවාදයකි.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නීතියේ රැකවරණයට අසු වී සිටින කීපදෙනෙකුට මරණය ළඟා කර දීමෙන් ජනාධිපතිවරයා මර්ධනය කිරීමට උත්සාහ කරන්නේ ද හේතුව නොව ඵලයටය. ඒ අය මත්ද්‍රව්‍ය ජාවාරමේ හාල්මැස්සන් මිස තෝරු මෝරන් නොවේ.
මත්ද්‍රව්‍ය දේශපාලනය
මත්ද්‍රව්‍ය ජාවාරම් රටේ දේශපාලන ක්‍රියාවලියේම කොටසකි. පවතින දේශපාලන තේරීම් ක්‍රියාවලිය තුළ බලය ලබා ගැනීමට නම් අසීමිත මූල්‍ය අනුග්‍රහයන් අවශ්‍යමය. එය සපුරාගත හැකි පහසුම ක්‍රමය වන්නේ දූෂිත ඉපැයීම් මාර්ගවලින් සහ දූෂිත ඉපැයීම් මාර්ගවල අනුග්‍රහයෙනි. එය අහෝසි කිරීමේ සාධනීය ක්‍රියාමාර්ග ගැනීමට කිසිවකුට වූවමනාවක් නැත. කිසිදු සාධනීය ව්‍යවස්ථා සංශෝධනයකට ඔවුන් සුදානම් නැත. ගැටලුවට හේතුව ඇත්තේ එතැනය. ප්‍රතිකර්ම අවශ්‍ය කරන්නේ ඒ හේතුව අහෝසි කිරීමටය. එය ප්‍රමාදය.
කුමන දේශපාලන පොරාන්දු දී ආවත් බලය ලැබුණු විගස පාලකයාගේ ප්‍රමුඛ අරමුණ වන්නේ බලය රැකගැනීම සඳහා සටන් කිරීමය. ජේ.ආර්. හඳුන්වා දුන් දේශපාලන මොඩලයේ ආනිසංශය ඒ. ඔහු දෙවරක් බලයේ සිට බලය අතහැර ගිය ද ඔහුට පසුව ආ සෙස්සන් තම නිල කාලය ඉවත් වූ පසුත් පොරබදන්නේ බලය යළි අත්පත් කර ගැනීමටය. එක් වතාවකින් බලය අතහරින බවට බලයට පත් වී ප්‍රසිද්ධියේම තම මුල්ම පොරොන්දුව කඩ කරමින් මෛත්‍රි ජනාධිපතිතුමාත් දැන් අරගල කරන්නේ යළි බලයට පත් වීමටය. මේ බල ව්‍යුහය ඒ තරමටම පාලකයා පිරිහෙලයි.
මේ දේශපාලන බල ව්‍යුහයේ පරිවාරය හෙවත් පාර්ලිමෙන්තුව නිර්මාණය වන්නේ දුෂිතයන්ගෙනි. කලින් දුෂිතයකු වී සිටීම හෝ පසුව දුෂිතයකුවීම පවතින දේශපාලන ක්‍රමය තුළ පැවැතීමට අනිවාර්ය කොන්දේසියකි. ඒ නිසා කිසිවිටෙක ප්‍රශ්නයේ සැබෑ හේතුවට අත තැබෙන්නේ නැත. සියලු දුෂිතයන් සහ අපරාධකරුවන් පාර්ලිමෙන්තුව තුළ රැකවරණ ලබා සිටින විට හෝ පාර්ලිමෙන්තුවට අරක්ගත් අයගේ අනුග්‍රහය ලබන විට මත්ද්‍රව්‍ය ජාවාරම නැවැතීම මේ කපේදී කළ නොහැක්කකි.
ජනාධිපතිතුනි පුඵවන්නම් මේ ටික කරලා පටන් ගන්න.
ජනාධිපතිතුමාට හෝ රජයට මත්ද්‍රව්‍ය මැඩලීමට අවංක චේතනාවක් තිබේනම් මරණ දණ්ඩණය කෙසේ වෙතත් පාර්ලිමෙන්තුවේ රැකවරණ ලබන අපරාධකරුවන් හෙළිදරව් කිරීමටවත් අවම වශයෙන් හැකි විය යුතුය. මෛත්‍රි ජනාධිපතිතුමාගේ මත්ද්‍රව්‍ය මැඩලීමේ ව්‍යාපාරය සද්භාවයෙන් සිදු කරන්නක් නම්
(01) සතොස කන්ටෙනරයේ කුඩු රැගෙන ආ පුද්ගලයා රටට හෙළි කළ යුතුය. ඔහුට දඬුවම් කළ යුතු ය. (අඩුතරමේ සිර දඬුවමක්වත්)
(02) කලුතර නීති විරෝධි ඉස්කාගාරය පවත්වාගෙන යෑමට අනුග්‍රහය ලබා දුන් දේශපාඥයා නීතියට කොටු කර පෙන්විය යුතුය. ඔහුට දඬුවම් කර පෙන්වීය යුතු ය.
(03) මාකඳුරේ මදුෂ් හෙළිදරව් කළ ආණ්ඩු පක්‍ෂ සහ විපක්‍ෂ මැති ඇමැතිවරුන් කව්ද යන්න හෙළිදරව් කළ යුතුය. ඔවුන්ට දඬුවම් කර පෙන්වීය යුතු ය.
රටේ සාමාන්‍ය පුරවැසි අපරාධකරුවන් වෙත යොමු විය යුත්තේ දෙවෙනුවය. වරදකරුවන් වී සිරගත වූවන් එල්ලා මැරීමට වඩා පාර්ලිමෙන්තුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෙළිදරව් කිරීම අද අවශ්‍යය. වැඩ පටන් ගත යුත්තේ එතැනිනි. එයට හේතුව ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් පවත්වාගෙන යන්නේ තම දේශපාලන බල න්‍යාය පත්‍රයේම පැවැත්ම සඳහා ය. එහි අංගයක් ලෙසය. ඔවුන්ගේ පැවැත්ම අහෝසි නොකර මත්ද්‍රව්‍ය මේ කපේදී ඉවර කළ නොහැකිය.
මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම රටේ අද දැවෙන අවශ්‍යතාවයකි. එහෙත් ඒ සඳහා ඇති දේශපාලන රැකවරණ ඇතිතාක් කල් මත්ද්‍රව්‍ය මැඩිය නොහැකිය. ඒ සඳහා ඇති හොඳම විසඳුම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අය එල්ලා මැරීම නම් මූලින්ම කළ යුත්තේ දේශපාලන බලය උඩ මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් යහතින් රැකී සිටින එකෙකු ඉස්සෙල්ලාම අල්ලා එල්ලා මැරීම ය. අඩු තරමේ ඔවුන් වරදකරුවන් කර සිපිරි ගෙයට දැමීමෙනි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අනුග්‍රහය දෙන්නන් අපේක්‍ෂක ලැයිස්තුවලින් කපා හැරීමට සියලු පක්‍ෂ නායකයන්ට හැකි විය යුතුය. ජනාධිපතිවරයා මූලින්ම අත තැබිය යුත්තේ එතැනටය. මත්ද්‍රව්‍ය චෝදනා ඇති හෙළිදරව් කර ඒ අයට අපේක්‍ෂකත්වය ලබා නොදීමට සියලු පක්‍ෂවලට බල කළ යුතු ය. එසේ කළ නොහැකි නම් ඒ කාර්ය ජනතාවට මැතිවරණයකදි කළ හැකිය.
මරණ දඩුවමට වඩා ඵලදායි ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ජනතාවට සහභාගි විය හැකි ය. ඊළඟ චන්දයේදී ජනතාවට එවැන්නක් අහෝසිකර හේතුව අහෝසි කිරීමේ ක්‍රියාමාර්ගයකට යා හැකි ය. එහෙත් ඒවා කිසිවක් මේ රටේ කිසිදා සිදු නොවන බව රටේ ජනතාවට ඉර හඳ මෙන් සහතිකය. අපේ රටේ දේශපාලනය එතරමටම දූෂිතය. දෙබිඩිය. වංකය.



No comments:
Post a Comment