Tuesday, 7 April 2020

# Covid19 through Liberation Christian view>කොරෝනා ගැන මට හිතුන අළුත්ම විදිය


මම ඒච්චරම දේව විස්වාසය තියෙන කෙනෙක් නෙමෙයි. උපතින් කිතුණුවෙක් වුණත් මම ඒ ගැන වැඩිය හිතන්නේ නෑ. ''ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත, " කියන කවිය තමයි මගේ පරමාදර්ශය . මම කොරෝනාව විවිධ විදියට තේරැම් ගන්න උත්සාහ කළා. මට අලුතින්ම හිතුන විදිය තමයි මේක. ඒක කියවලා ටිකක් බුද්ධිමත් විදියට හිතල ප්‍රතිචාර දක්වනවනම් මම කැමතියි.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය දැන් මම හිතන්නේ දෙවියන්ගේ ක්‍රියාවක් කියලා. සමහරු කොහොම තර්ක කලත් තාමත් ලෝකේ වැඩිපුරම ඉන්නේ දෙවිකෙනෙක් මේ ලෝකෙ මවල පාලනය කරනවයි කියලා විශ්වාස කරන මිනිස්සු. ඉතිං මේ වෙලාවේ හොදම දේ තමයි, ඒ දෘෂ්ඨියෙන්ම බලලා කොරෝනාව තේරැම් ගන්න උත්සාහ කරන ඒක. ඒක නිසයි මම හිතන්න ගත්තෙ කොරොනාව ඒව්වෙ දෙවියන් වහන්සේමයි කියලා.
බොහෝ වෙලාවට දෙවියන් වහන්සේ හරම ප්‍රජාතන්ත්‍රවාදී චරිතයක්. තමන් ලෝකය මැව්ව කියලා. ඒකට වැඩිය ඇගිලි ගහන්න ගියේ නෑ. මිනිස්සුන්ට තමන්ට ඔන විදියට ජීවත් වෙන්න ඇරලා බලාගෙන හිටියා. බැරිම තැනක තමයි මැදහත් වෙන්නේ.
දෙවියන් වහන්සේ ඒකවතාවක් විශාල ජල ගැල්මක් ඇතිකරලා ලෝකයම විනාශ කරල තියෙනවාඉතා ඇත කාලයේ ජේසු ඉපදෙන්නත් ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ ඒකවතාවක් මුළු ලෝකයම විනාශ කරපු බව බයිබලයේ සදහන් වෙනවා. ඒ් සැරේ බේරගත්තේ නෝවාවයි නෝවගේ පවුලෙ අයවයි නෝවා හදාගත්තු නැවට දාගත්තු සත්තු ටිකයි විතරයි. ඉතිරි සියලු දෙනාවම විශාල ජල ගැල්මක් ඇතිකරලා ලෝකයම විනාශ කරල තියෙනවා. ලොව විනාශ කරන්න හේතු වුනේ ඒ වෙනකොට මිනිස්සු ඉතා බරපතල විදියට පාපයට වහල්වී සිටි නිසා. කරන්න වෙන දෙයක් නැති වුනාම. දෙවියන් වහන්සේ ඒ වගේ තීරන අරගෙන තියෙනවා.
නෝවාගෙන් පැවත ඒන ඒය ආයෙමත් පාපයට වැටිලා ජීවත් වෙන කොට තමයි දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයාව මනුෂ්‍ය වේසයෙන් මේ ලෝකෙට ඒව්වෙ. ජීවත් වෙන හැටි කියදෙන්න.ඒ තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒත් ඒයාටත් වැඩිකල්ඉන්න දුන්නේනෑ. අවුරූදු 33 දී වද හිංසා දීලා කුරුසියේ ඇණගහලා මරලා දැම්මා. ඒත් මරනයෙන් නැගිට්ටාට පස්සේ බොහෝ අය ජේසු තුමා අදහන්න පටන් ගත්තා. තවත් පිරිසක් ජේසුව පිලිගත්තෙත් නෑ. ඊට පස්සේ ඒ අයට ජීවත් වෙන හැටි කියලදෙන්න තමයි දෙවියන් වහන්සේ මොහොමඩ් කියන ගොපල්ලාට දේවඥානයක් පහල කරලා අලුත් දහමක් කියල දුන්නෙ. ඒත් ඒයාටත් මදීනාවේ මිනිස්සු ළමයින් දම්මල ගල්ගැස්සුවලු. ඒත් පස්සේ ඒයාවත් ලෝකේ බොහෝ දෙනෙක් අදහන්න ගත්තා. මේ දෙන්නා දේශනා කරපු දහම ඔලුව උඩ තියාගත්තු අනුගාමික ආගමික නායකයෝ ඒ ඉගැන්වීම් අරගෙන ගියේ යහපතට වඩා විනාසයටමයි. ජේසුගේ දහම ඉස්සරහට අරගෙන යන්න පිහිටවපු සභාව ජේසු කතා කරපු සමාජවාදය වෙනුවට ධනවාදය වෙනුවෙන් හිටගන්න පටන් ගත්තා. මොහොමඩ් නබිතුමා කතාකරපු දහම කනපිට හරවලා මූලධර්ම වාදී අන්තවාදී දහමකට හැරෙව්වෙත් ආගමික නායකයෝමයි.
ජේසුතුමා තමයි ලෝකෙ මුලින්ම බිහිවූ සමාජ වාදියා. ඒත් කිතුණු සභාව ඒදා ඉදන් අද දක්වාම කලේ සමාජ වාදය ලාදුරු රෝගයක් වගේ බැහැර කරපු ඒක. සැබෑ කිතු දහමට අනුව ධනවාදය කියන්නේ පාපයක්. සමාජ පාපයක්. ලෝකයේ බොහෝ අය දුක්විදින්නේ ව්‍යූහගත සමාජ පාපය නිසා. ඒ දහම දේශනා කරන්න ගිහින් ඒකාලේ හිටපු නායකයොයි පූජකයොයි කුමන්ත්‍රණය කරලා ජේසුව තිරස්තීන විදියට මරල දැම්මා. ඉතිං පහුගිය කාලෙ ජේසුගේ දහම හරියට තේරුම්ගත්තු පූජකයින්ට සාම්ප්‍රදායික සභාව සැලකුවෙ හරියට ලාදුරු රෝගීන්ට වගේ. (මේ ගැන ලොකු විස්තරයක් මම ''පාදර් සරත්" පොතේ ලියල තියෙනවා) ජේසුගේ දහම හරයට තේරුම් ගත්තු අය ඉන්නේ ටිකයි. ඒ අය අනිත් අයගෙන් නින්දා අපහාස විදිනවා. හරියට සීයට 3 වගේ.
කොරෝනා පැතිරෙන්න ගනිද්දි දෙවියන් වහන්සේ වතිකානුවයි මක්කමයි වහලදාන්න සැලැස්සුවෙ නිකම් නෙවෙයි
කොරෝනා පැතිරෙන්න ගනිද්දි දෙවියන් වහන්සේ වතිකානුවයි මක්කමයි වහලදාන්න සැලැස්සුවෙ නිකම් නෙවෙයි. ඒවයේ සේවය කරන්නේ පාපී ධනවාදයට බව දෙවියන් වහන්සේ දැනගෙන හිටියා. දැන් ඉන්න පාප් වහන්සේ නම් ටිකක් ප්‍රගතිශිලියි. ඒත් සභාව ධනවාදීයි. පාප් වහන්සේ ප්‍රගතිශිලි වුනාට කාදිනල්ලා ඇතුළු සභාව කඩේ යන්නේ ධනවාදයට.
මේ වනවිට ලෝකයේ දනවාදිය කියන පාපය තුලින් ඉතාම අන්තකටම ගිහින් හිටියේ. ලෝකය සූරාකාපු බහු ජාතික සමාගම් ඉතා අන්ත විදියට තමන්ගේ වැඩේ කරගෙන ගියා. ඒකට ''ගෝලීයකරණය", 'විශ්වගම්මානය", ''නව ලිබරල් වාදය" වගේ ලස්සන වචන දාගත්තට ඒ් වැඩ පිලිවෙලේ මුලුමනින්ම තිබුනේ සූරාකෑම. සූරාකන්නන්ගේ බලාපොරොත්තුව තිබුනේ දුප්පතුන්ව ලෝකයෙන් අතුගාල දාලා තමන්ව විතරත් ඉතුරු කරගන්න ඒක. ගෝලීය ධනවාදය දුප්පතුන් විතරක් නෙවෙයි. දුප්පතුන් ඉන්න රටවල පරිසරය පවා සූරාකෑවේ හරිම දරැනු විදියට (මේ ගැන ඉතා වැදගත් හෙලිදරව්වක් මම පරිවර්තනය කරපු ''සොරාගත් අස්වැන්න" පොතේ තියෙනවා)
මේ ධනවාදී පාපය ඉහවහා ගිහින් තියෙන ඒක තවත් ඉවස ගන්න බැරිමතැන තමයි. දෙවියන් වහන්සේ මේ තීරනය ගන්න ඇත්තේ. දන්න ඉතිහාසය තුල කොරෝනා වෛරසය තරම් ලෝකෙටම පීඩාවක් ඇති කරපු තවත් ප්‍රශ්නයක් නෑ. ධනවාදී පාපයට නිදහසේ හැසිරෙන්න ඒක් ඒක් රටවල් වල ඇරගත්තු දොරවල් කොරෝනා තුලින් ''ලොක් ඩවුන්" කරගන්න දෙවියන් වහන්සේ සැලැස්සුවේ නිකන් නෙවෙයි.
දුප්පත් රටවලත් නව ලිබරල් වාදය පතුරවලා අපේ දොරවල් ඇරවලා අපේ සාරය සූරාගත් ධනවත් රටවල් ඔක්කෝම මේ වනවිට තමන්ගේ රටවල් ලොක් ඩවුන් කරගෙන මේ වනවිට ගෝලීය කරනය තාවකාලිකව හෝ ලෝකයෙන්ම අහෝසිවෙලා. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ.
දෙවියන් වහන්සේ මේක ලෝකෙටම දීපු දඩුවමක්. බලාගෙන ඉදල ඉදල බැරිම තැන ලෝකෙට දීපු දඩුවමක්
මෙ දඩුවම ඉස්සෙල්ලාම චීනෙට දුන්නෙත් හේතුවක් ඇතිව. දේව සැලැස්ම ඒහෙම තමයි. සියල්ල ධනවාදයට බාරදීපු බටහිර රටවල් මේ වනවිට නන්නත්තාරවෙලා තියෙනවා.
අපිටත් කොරෝනා දුන්නට අපිව බය කරලා තත්වය පාලනය කරල තියෙනවා.
දෙවියන් වහන්සේ දන්නවා ලංකාව පාලනය කරන්නෙ ධනවාදයට කබුරන හරියට ඔ ලෙවල් වත් පාස් නොකරපු බහුතරයක් ඉන්න අමුමෝඩ මැති ඇමති මන්ඩලයක් කියලා.
 දෙවියන් වහන්සේ දන්නවා ලංකාව පාලනය කරන්නෙ ධනවාදයට කබුරන හරියට ඔ ලෙවල් වත් පාස් නොකරපු බහුතරයක් ඉන්න අමුමෝඩ මැති ඇමති මන්ඩලයක් කියලා. මේ කට කොරෝන ව්‍යාප්තවෙන්න ඇරියොත් මේකේ මිනිස් පුළුටක්වත් ඉතිරිවෙන්නේ නෑ. දැනටත් සමහර අය කරන්නේ විශාල මුදල් වියදම් කරලා අහසින් පිරිත් වතුර ඉහින ඒක.
දෙවියන් වහන්සේ අපටත් හිතන්න ඉඩදීලා තියෙනවා.
මූණුපොතේ සමහරු ලියල තියෙනවා ගෝඨාභයට රට බාරදීපු නිසා රට මේ තරමින් බේරුනා කියලා. සමහරු හිතනවා ලංකාව පුරා උදේ හවා සජ්ජායනය කරන පිරිත් බලයෙන් කොරෝනා පාලනය වුනා කියලා. මට හිතෙන්නෙ නම් අරකයි කාරනේ. දූෂිත මෝඩ රැලක් පාලනය කරන අපි වගේ රටක කොරෝනා ව්‍යාප්ත වෙන්න ඉඩහැරියෙත් කොහෙන් කෙලවර වෙයිද දන්න නෑ. මේකත් දෙවියන්ගේ ක්‍රියාවක් වෙන්න බැරිද
මේ වගේ වසංගතයක් ලෝකෙට මුදාහැරලා දෙවියන් වහන්සේ අපේක්ෂා කරන්න ඇත්තේ මොකක්ද මේ යන විදයට ලෝකෙට තවදුරටත් ඉදිරියට යන්න බෑ කියනඒක නෙවෙයිද දේවවාදීව හිතන කිතුණුවන්ටත් ඉස්ලාම් වරුන්ටත් නැවත හිතන්න වෙලාවක් දීල තියෙන්නේ. ධනවාදී පාපයෙන් ඉවත්වෙලා ජෙසු දේශනාකරපු සමාජවාදී මාවතට අවතීර්න වෙන්න ලෝකය තීරනය කෙරුවෙත් හරි. නැත්තම් ඊලගට වෙනදේ අනාවැකියක් ලෙස බයිබලයේ සදහන් වෙලා තියෙනවා. පලමු සැරේ ජලගැල්මෙන් ලෝකය විනාශ කරපු දෙවියන් වහන්සේ ඊලග සැරේ ලෝකය විනාශ කරන්නේ ගින්නෙන් බව බයිබලයේ ලියා තියෙනවා. 
කොරෝනා වසංගතය දෙවියන් වහන්සේ කරපු පොඩි ට්‍රයල් ඒකක් වෙන්නත් බැරිනෑ.
මම මේ ලියපු දේවල් ඔක්කොටම මමත් ඒකග නෑ. ඒත් සත්‍යය තේරුම් ගන්නකොට විවිධ මානයන්ගෙන් ප්‍රශ්නය දිහා බලන්න වෙනවා. මම කෙරුවේ ඒහෙම දෙයක් මේක කියවලා පිස්සෝ වගේ දගලන්නේ නැතුව බුද්ධිමත් සංවාදයකට එන්න මම ඔබ සැමට ආරාධනා කරනවා.
සිඩ්නි මාකස් ඩයස්

# 1st priority to the Food Security through Natural GYMගෙවත්ත කියන්නේ නැචුරල් ජිම් (Natural Gym)ඒකක්


පහුගිය කාලේ රට විවෘත ආර්ථිකයට යොමුකරලා සේවා සපයන රස්සාවලට යොමු වෙච්ච සමාජයක තරබාරුව ලොකු ප්‍රශ්නයක් වුණා. වෙනත් රටවල හදන ටිං කරපු පැකට් කරපු වීවිධ රසායනයන් මිශ්‍රවෙච්ච කෑම ජාතිත් ඒකට හේතුවක් වුනා.රටේ වංසගත රෝග වෙනුවට වසංගත නොවන රෝග ඉදිරියට ඒන්න මේ තත්වයත් බලපෑවා ඒකට වෙලෙද පොල ආර්ථිකය අපට දුන්න විසදුම තමයි ජිම් ඒක Gym. මධ්‍යම පාන්තික සමාජයට ජිම් Gym යන ඒක ලොකු විලාසිතාවක් වුණා. ගෙදර මිදුලෙ වැව්වේ රට තණ කොල ඒ අයට දැන් ඒවයෙ විපාක තේරෙනවා ඇති.

ගෙදර වත්තේ ගහක් කොලක් වවලා ගෙඩියක් කඩාගෙන කන්න පුරුදු වෙලා හිටපු අයට ඒ හැදෙන ටික දේ වුණත් මේ වෙලාවේ මාර සහනයක් වෙලා තියෙනවා. මමත් ඒක මේ වෙලාවේ අත් දකිනවා. පායලා පායලා පොලොව කරකුට්ටම් වෙලා තියෙත්දිත් ගෙදර වත්තේ පළතුරු ඒලවලු ටිකක් තිබුණා. මේ දවස්වලත් අඹගස්වල අඹ හැදිලා කොස්ගස්වලත් ගෙඩිහැදිලා අන්නාසි පදුරු වලත් ගෙඩි 30-40ක් තියෙනවා. ගස්ලබු ගස් කීපයේත් ඇතිවෙන්න කන්න ගස්ලබු තියෙනවා. අලුකෙහෙල් කැනක් වගේම මෝරගෙන ඒන සුවදැල් කැන් දෙක තුනකුත් තියෙනවා. වවාපු ගස්වල කන්න පොලුත් තියෙනවා. ඊලග වැස්සට හිටවන්න පැලටිකක් ලෑස්ති කරලයි තියෙන්නේ.
මම කරන්නේ පොත් ලියන ඒක වුණාට පොතක් ලියල ඉවරවුන වහාම පෑන පැත්තකින් තියලා අතට ගන්නේ උදැල්ල. වෙහෙස වෙච්ච මොලය රිලක්ස් කරගන්නේ වැත්තෙ වැඩ කරලා. වැඩි වෙච්ච බරත් කිලොවක් දෙකක් අඩුවෙනවා. ඒ ටික කිව්වේ කයිවාරැවකට නෙවෙයි. මගේ අත්දැකීමෙන් අනිත් අයට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා.
ඉතිං ගෙදර වත්ත නැචුරල් ජිම් ඒකක් (Natural Gym) කරගැනීමේ වැදගත්කම මේ වෙලාවෙ කතා කරන ඒක වටිනව කියලා මට හිතෙනවා. නැචුරල් ජිම් ඒකක් කියන්නේ ගෙවත්තට මම දෙන අළුත් නම.
ප්‍රදේශයේ ගැමි කාන්තාවන්ට ගෙවත්ත හදුන්වා දුන්නේ "පෝෂණ තුරැ ගොමුව" කියලා මේ පෝෂන තුරු ගොමුවට යොමුවෙච්ච අයට අස්වැන්නේ අතිරික්තය විකුණගන්න ආණමඩුව නගරයේ ''බදාදා ජීවන ශක්ති පොළ" පටන් ගන්න මම උදව් කලා. ඒ පොලට දැන් අවුරුදු 12ක් වෙනවා.
පෝෂණ තුරු ගොමුවක් කියන්නේ කන්නෙට හැදෙන එළවලු ටික විතරක් නෙවෙයි. ගෙඩි කඩල කන්න පුලුවන් බහුවාර්ෂික බෝගත් යහමින් තියෙන්න ඔන. ඒතකොට ඒවා අපට හැමදාම ආහාර දෙනවා.
මධ්‍යම පාන්තික රැකියා කරන බොහො අය ගෙවත්ත අමතක කෙරුවේ ඒකෙ ලාභය ගනන් බලපු විදිය වැරදි නිසා. නව ලිබරල් සුපර්මාකට් ක්‍රමය නිසා ට්‍රොලිය තල්ලුකරගෙන බඩු රාක්ක අස්සේ ඇවිද ඇවිද පිටරටින් ගෙන බඩු පුරෝගෙන ෂොපින් (Shopping)කරන ඒක ඒ අයට විලාසිතාවක් වුණා. ඒක නිසා ගෙවත්ත දිහා අලුත් මානයකින් බලන්න අප පුරුදුවිය යුතුයි. මොකද කොරෝනා වලින් විතරක් නොවෙයි ඉදිරියට ආහාර අර්බුධයෙනුත් මිනිස්සු මැරෙන්න ඉඩතියෙනවා. දැන් අනිත් රටවල් සේරමත් ලොක් ඩවුන් කරල නිසා නැවෙන් කන්න ඒනකන් බලාගෙන හිටියට වැඩක් නෑ. අතේ සල්ලි තිබ්බත් වැඩක් නෑ කන්න නැත්නම්.
පසුගිය දශක කීපයේ රට කරපු ආණ්ඩු වල වැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්ති නීසා අපේ රටේ හේන් වල වවපු මුං ඇට කව්පි තල කුරක්කන් පවා ගෙනාවේ පිටරටින්. අපිට ආවේනික ධාන්‍ය බොහෝමයක් වද වෙලා ගියේ නිකම්ම නෙවෙයි.
මම මුලින්ම ආණමඩුවට එනකොට හැමදාම හවසට මිනිස්සු වවපු ධාන්‍ය සහ එළවලු ලොරි හතර පහක් කොළඹට පටවනවා දැන් සෙනසුරාදට හිස් ලොරි කොළඹ ගිහින් මෙහේ මීනිස්සුන්ට කන්න මුං ඇට කව්පි තල කුරක්කන් කොළඹින් ගේනවා ඒ ගේන්නේ පිටරටින් ආනයනය කරපුවා. ඒතමයි පසුගිය දශක කීපයේ අපේ ආන්ඩු ඒකතු වෙලා කරපු සංවර්ධනය.
ආහාර ටික වවන්න ගම්වල හිටපු කොල්ලො කෙල්ලන්ව ගාමන්වල රෙදි මහන්න කියල හිරකෙරුවා. ඇමෙරිකාව වගේ රටවල් තමන්ගේ ආහාර තමන්ම වවාගෙන අපි ලවා ඒ අයගේ රෙදි මස්සවා ගත්තා. මේ වෙලාවේ ඒ් අයට කෑම හිගයක් නෑ.පරන රෙදි ඇද ඇද වුනත් ඒඅයට ඉන්න පුලුවන් තව කාලයක්. අපේ ගැහැනු ලමයි මහපු රෙදි ඒ අය ගන්නෙත් නෑ දැන් අපිට ඒව කන්නත් බෑ. මේව තමයි අපට වැරදුන තැන්. ආහාර සුරක්ෂිත තාවය ගැන රටක් හැටියට වගේම පවුලක් හැටියටත් හිතන්න ඔන. පහුගිය සංවර්ධන ප්‍රතිපත්ති වලින් රටට වෙච්ච විනාශය නිසා.
නැචුරල් ජිම් ඒකක් කියන්නේ ඒලවලු පලා පලතුරු වලින් පිරුණු තැනක්. ඒහෙම ඒකක් ඉබේ හැදෙන්නේ නෑ අපි මහන්සි වෙලා හාදාගන්න ඔන. ඒකෙ ලාභෙ තක්සෙරු කරන්න ඔන අලුත් විදියට. ඒකට මම 3F ක්‍රමවේදය ඔබට හදුන්වා දෙනවා.
F1 =Fitness
F2= Food
F3= Fun


F1 Fitness
ටවුමෙ තියන ජිම් ඒකට යනඒක නවත්වලා ගෙදර වත්තේ වැඩ කරන්න පුරැදු වුනාම ශරීරයට ඇතිතරම් ව්‍යායාම ලබාගන්න පුළුවන් නැමෙන්න දිගෑරෙන්න කොටන්න කොච්චර ව්‍යායාම ලැබෙන වැඩ තියෙනවද? ඇති තරම් දාඩියත් දානවා. බර අඩුවෙලා තරබාරැ කමත් අඩුවෙනවා. හිසේ තියෙන ආතතියත් අඩුවෙලා ගිහින් හිත රිලක්ස් වෙනවා. ටවුමෙ තියෙන ජිම් ඒකට වගේ වියදමක් යන්නෙත් නෑ.
F2 Food
වවන දේවල් වලින් ඵලහටගන්නවා . ගෙදරවත්තේ තමන්ගේ මහන්සියෙන් වවන ඒලවලු පලතුරු පලා කනකොට ලබන සතුට කඩෙන් ගේන ඒවා කාලා කවදාත්වත් ලබන්න බෑ. ඒක අත්දැකීමෙන් මම විදිනවා. විදින තවත් බොහෝ අය මේ රටේ තාමත් ඉන්නවා. ඒ අය මේකට කමෙන්ට් දායි. ඒවා වසවිස නෑහ. ලෙඩ අඩුයි. තමන්ට වැඩිහරිය අහල පහල අයට බෙදාහදාගන්න හුවමාරැ කරගන්නත් පුලුවන්.


හොදට මතක තියාගන්න. නිරෝගීව ජීවත් වෙන්න නම් අපි ආහාරයට ගන්න ඔන අප අවට පරිසරයෙන් හැදෙන ආහාරමයි. ටිං කරපු පැකට් කරපු ලෝකෙ කොහෙවත් හදපු ආහාර තමයි අපව ලෙඩ කරන්නෙ. ඒක මම අත්දුටු සත්‍යයක්. අපේ වියලි කලාපයේ පරිසරය හරි උෂ්නයි. ඒහෙත් වියලි කලාපයේ හැදෙන ආහාර අපේ ශරීරය සිසිල් කරන ඒවා. උඩරට පැත්තෙ පරිසරය හරි සිසිල් නමුත් ඒවගේ හැදෙන ආහාර බොහෝවිට උෂ්නාධිකයි. ඒ සමතුලිතතාවය රැකගන්න නම් අපේ පරිසරයේ හැදෙන ආහාර වලට හුරැවෙන්න අවශ්‍යයි. ඒකට හොදම විසදමු තමයි.හැකි තරම් නිතර ගෙවත්තේ ආහාර වවාගන්න ඒක.
F3 Fun
ගෙදර වත්තේ පැලයක් හදාපුවාම ඒ හැදෙනව බලන ඒක හිතට දෙන්නේපුදුම සතුටක්. ගහකොල හිටවන අය උදේනැගිට්ට ගමන් දුවන්නේ හිටවපු පැලයේ අලුත් දල්ලක් ඇවිල්ලද බලන්න. මලක් පිපිලද බලන්න. පිපුණු මල්වල ගැට මොදුවෙනවද බලන්න. හැදුනු ඵල පැහිලද ඉදිලද බලන්න. ඒක පුදුමු අහිංසක සතුටක්.
ගෙදර ගහේ හැදුනු ඒලවලු ටික පලතුරුටික මිරිස් කරල කෑම පිගානට ඒනකොට ඒක දනවන සතුට පුදුමඒකක්. ඒ සතුට සල්ලිවලින් ගන්න බෑ.
ඉතිං ගෙවතු වගාවෙ ලාභය ගනන් බලන කොට ලැබෙන අස්වැන්නට වෙලෙද පොල වටිනාකමට වඩා ඉහල වටිනාකමක් 3 F තුලින් දෙන්න ඔනෑ.
කොරෝනා වසංගතය කොහෙන් ඉවරවෙයිද දන්නේ නෑ. කොරෝනාවට පස්සේ තවත් වසංගත නොඒයි කියලා කියන්න බෑ. ගෙවල් ඇතුලට වෙලා ඉන්න කොට පලවෙනි දේ තමයි ආහාර. ගෝලීයකරනය පස්සේ ලෝකෙටම විවෘතවෙන්න ගිය මනුස්සයාට දැන් වෙලා තියෙන්නේ රටවල් ලොක් ඩවුන් කරගන්න. දිස්ත්‍රික්ක ලොක් ඩවුන් කරගන්න. ගම ලොක් ඩවුන් කරගන්න. ගෙවල් ලොක් ඩවුන් කරගන්න. අන්තිමට තම තමන්වත් ලොක් ඩවුන් කරගන්න. ඒ්වගේ මිනිසුන්ව ගෙවල්වලට මාස ගනන් හිරකරල තියන වසංගතයක් පිටුපස්සේ සාගතය අනිවාර්යයෙන්ම ඒනවා. දැනටමත් ඇවිල්ලා. ඒ්කට සූදානම් වෙන්න වෙනවා. හෙට අනිද්දා වහින්න පටන් ගනීවි. ඒ් හින්ද දැන්මම නැචුරල් ජිම් ඒකක් හදාගන්න පටන් ගන්න. මූලික වැඩටික පටන් ගන්න මේ වෙලාව ඉතාම හොදයි.
මගේ අදහස පෝෂනය කරන්න. අවශ්‍යනම් නිවැරදි කරන්න. ඔබටත් ඉඩ තියෙනවා.
සිඩ්නි මාකස් ඩයස්

Thursday, 11 July 2019

# 1st Selection for Capital punishment

ජනාධිපතිතුමනි පුඵවන්නම් 

ඵලය නොව හේතුව විනාශ කරන්න

මෛත්‍රීපාල ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය අපරාධකරුවන්ට එරෙහිව මරණ දණ්ඩණය බලගැන්වීමට ගත් තීන්දුව යළිත් දේශපාලන පොරපිටිය තුළ ද පුරවැසි සමාජය තුළ ද උනුසුම් මාතෘකාවක් බවට පත් වී තිබේ.

නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මහ ඉහළින් පම්පෝරි ගසන රටක, දිනපතා දවස පුරාම බණ දෙසන ගුවන් විදුලි සහ රූපවාහිනි නාලිකා බිහි වී ඇති රටක, එමෙන් ම බුදුන්ගේ ඉගැන්වීම්වල උරුමකරුවන් ලෙස උජාරු බස් දොඩන ජනතාවක් වෙසෙන රටක මත්ද්‍රව්‍ය ඇබ්බැහිකම අතින් ලෝකයේ ඉදිරි පෙළට පැමිණීම මෙන් ම එය මැඩලීම සඳහා යළිත් මරණ දණ්ඩණය සක්‍රීය කිරීමට රටක පාලකයකුට සිදු වීම සහ සැබැවින්ම අවාසනාවන්ත තත්ත්වයකි.

මෙම තත්ත්වය වර්තමාන රාජ්‍ය පාලන ක්‍රමවේදයේ අසමත්භාවය නැවතත් තහවුරු කර දක්වන්නකි. ඉහත සියලු තත්ත්වයන්ගේ බි`ඳවටීම පෙන්නුම් කරන්නකි. ගෙවුණු දශක කීපය තුළ රට දිනෙන් දින අගාධයකට රැගෙන ගිය ආර්ථික හා දේශපාලන ක්‍රියාදාමයන් විසින් කිසිදු සාධනීය සමාජ වෙනසක් අත්පත් කරගත නොහැකි තරමට සමස්ත සමාජ දේහයම දුෂිත බවින් ඔඩුදුවා ගොස් තිබේ.

ජේ.ආර්. ඇටවූ ජාතික උගුල
සීමා මායිම් ලකුණු නොකළ විවෘත ආර්ථිකය විසින් මු`ඵ සමාජ දේහයම කුණු කර තිබේ. ඉන් වඩාත් කිලිටි වී ඇත්තේ දේශපාලන ක්‍රියාවලියය. ඊ ළඟට මාධ්‍ය භාවිතයය. මෙම පද්ධතීන් දෙකම අද නඩත්තු වන්නේ දුෂිත ව්‍යාපාරයන්ගේ අනුග්‍රහයෙනි. රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අති බහුතරය මත් ජාවාරමට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ අය බව රටේ නීතියට අල්ලාගත නොහැකි වූවද රටේ ජනතාවට ඇතැඹුලක් සේ ප්‍රත්‍යක්‍ෂ වී හමාරය. මත් ද්‍රව්‍ය ජාවාරම් මැඩීම සඳහා එවන් දේශපාලන යාන්ත්‍රණයකින් අනුබලයක් ලැබෙතැයි සිතීම මුලාවකි.

 මෑතකදී කලුතර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරා්ධි ඉස්කාගාරය කලුතර ප්‍රදේශයේ ප්‍රධාන දේශපාලඥයකුගේ අනුග්‍රහය ලබන්නක් බව අනාරණය වූයේ ඔහු දැනට විපක්‍ෂයේ සිටින නිසා ය. මාධ්‍ය සාකච්ඡාවලට නිතර පෙනී සිටින ඔහු රටේ සමාජ සාධරණත්වය පිළිබද කරන මැදිහත්වීම් හා හොර අරක්කු ජාවාරමේ යෙදීම එකට ගෙන බලන විට රටේ රටේ දේශපාලඥයන් පවත්වාගෙන යන දෙබිඩි රංගනය වටහා ගැනීමට ජනතාවට අපහසු නැත.

පසුගියදා අත්අඩංගුවට පත් වූ මාකඳුරේ මදුෂ්ගේ කටඋත්තරය තුළ සැඟෑවී සිටින ආණ්ඩු පක්‍ෂ සහ වික්‍ෂ දේශපාලන රංචුව කව්දැයි තවම හෙළිදරව් නොකිරීමට වගබලා ගන්නේ ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය දෙකට එකතු වී බව අපට අනුමාන කළ හැකිය. මීගමුවේ සිටින ප්‍රකටම කුඩු ජාවාරම්කරුවා සිටින්නේ රටේ ප්‍රබලයකුගේ සාක්කුවේය. ඔහුට නීතිය විසින් කොටු කර ගැනීමට ගත් ප්‍රයන්තය ව්‍යවර්ථ වූයේ හිටපු ජනාධිපතිවරයා ඔහුගේ ගැලවුම්කරුවා වූ නිසාය.

වයඹ මුහුදු තීරයෙන් කේරල ගංජා තොග පිටින් රටට ඇතුලු වන්නේ රටේ දේශපාලන යාන්ත්‍රණයේ සහ පොලිසියේ අනුග්‍රහය ඇතිවය. සැමවිටම නීතියට කොටු වෙන්නේ එතෙක් මෙතෙක් අල්ලා ගත් විශාලම කුඩු තොගයය. ඒවා සිදු කරන්නේ සාමාන්‍ය පුරවැසියම නොවේ. දේශපාලන අනුග්‍රහයකින් තොරව එවැනි ජාවාරම් සිදු කළ හැකිද?.

ඊළඟට රටේ ජනමාධ්‍ය හිමිකරුවන්ගේ වැඩිපංගුව තිබෙන්නේ මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතය. ඔවුන් දේශපාලන ක්‍ෂේත්‍රයේ ද ප්‍රබල චරිතය. ජේ.ආර්. ජයවර්ධන විසින් ජනමාධ්‍ය භාවිතයට ලබා දුන් ලිහිල් ප්‍රතිපත්තිය නිසා මාධ්‍ය භාවිතය ද එක්තරා ආකාරයක මානසික මත්ද්‍රව්‍ය සැපැයීමක් බවට පත් වී තිබේ. රටේ ප්‍රචලිත ජනමාධ්‍ය බහුතරයකට සංවර්ධනාත්මක ප්‍රවේශයක් හෝ සමාජ වගකීමක් ඇත්තේම නැත. විවේචනාත්මකව ප්‍රවෘත්ති සංදර්ශන පැවැත් වූව ද ඔවුන් එය අවසන් වූ වහා ආරම්භ කරන්නේ මත්ද්‍රව්‍යවලටත් වඩා අහිතකර ටෙලිවැලක් ප්‍රදර්ශනටය. නිර්වින්දනය කරන මානසික මත්ද්‍රව්‍ය ඔවුන්ගේ වැඩසටහන් ආකෘතිය තුළ අන්තර්ගතය.

බොහෝ මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම්කරුවන් ඇතු`ඵ දුෂිතයන් තම කලු සල්ලි සුදු කර ගන්නේ ජනමාධ්‍ය ඇරඹිමෙනි. ඒවා තුළ ස්වාමින් වහන්සේලා විචිත්‍ර ලෙස බණ දෙසති. ඒ තුළින් ජාවාරම්කාර මාධ්‍ය හිමිකරුවන් බැටලු හම්පෙරවා ගනිති. ඔවුන්ට සැබැවින්ම ඇත්තේ වෘක චේතනාවකි. ඔවුන් එසේ උපයා ගන්නා කලු සල්ලිවලින් පල්ලි පන්සල් වලට ද අනුග්‍රහයන් ලබා දෙති. ඒ තුළින් ඔවුන් සියලු පව් දුරු කර ගනිති. ආගමික නායකයෝ ද ඔවුන්ට සෙත් පතති.

මේ තත්ත්වය තුළ මත්ද්‍රව්‍ය වසංගතය මේ රටින් තුරන් කිරීම පහසු නැත. රටේ ප්‍රශ්න විසඳීමට තනි අතින් අප්පුඩි ගසන්නට පටන් ගෙන සිටින වර්තමාන ජනාධිපතිවරයාට මත්ද්‍රව්‍ය අපරාධකරුවන් එල්ලා මරා දැමීමට සිදු වී ඇත්තේ මේ දේශපාලන සහ ආර්ථික ක්‍රියාදාමය එතරමටම අසාධ්‍ය පිළිකාවකින් පෙලෙන නිසා විය යුතු ය. බුදු දහම ගැන උජාරුවෙන් කථා කරන රටක රටේ බරපතල ප්‍රශ්න විසඳීමට දෙවෙනි වරටත් ඝාතනයම යොදා ගැනීමට ගන්නා උත්සාහය මේ තීරණයෙන් තහවුරු වේ.

හේතුව වෙනුවට ඵලය විනාශ කිරීම
රටේ අවුරුදු 30ක් පුරා ඇවි`ඵණු ත්‍රස්තවාදය සමනය කිරීමට බුදු දහමෙන් ලබා ගත් මගපෙන්වීමක් නැත. ඒ සඳහා රජය යොදාගත්තේ ත්‍රස්තවාදියා සමූල ඝතනය කිරීමය. රට වැනසෙන තත්ත්වයට පත් කර කුඩා පාසැල් දරුවන් පවා ගොදුරු කරගත් මත්ද්‍රව්‍ය වසංගතය දුරු කිරීමට ද මත් අපරාධකරුවන් ඝාතනය කිරීම හැර වෙන විසදුමක් නැති බව වර්තමාන ජනාධිපතිවරයාත් තීන්දු කර තිබේ.

බුදු දහමේ මගපෙන්වීම ලබාගෙන ඒ අනුව රාජ්‍ය පාලනය කරන්නේ නම් ඵලය විනාශ කිරීම නොව කළ යුත්තේ හේතුව හඳුනාගෙන එය අහෝසි කිරීමය. 30 අවුරුදු උතුරේ ත්‍රස්තවාදය මර්ධනය කළේත් හේතුව අහෝසි කිරීමෙන් නොව ඵලය විනාශ කිරීමෙනි. එය තවදුරටත් අවසන් වී නොමැත්තේ ඒ නිසාවෙනි. මානව හිමිකම් සංවිධාන බටහිර සංකල්ප ඔස්සේ අවදාරණය කරන්නේ ද මේ ශීෂ්ඨ සම්පන්න මානවාදී බෞද්ධ වටිනාකමය. ඊට එරෙහි වන ජනාධිපතිවරයා භඨධ වලට ද තඩි බාන්නට පටන් ගෙන තිබේ. මරණ දණ්ඩණයට එරෙහිවීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දීමක් ලෙස හුවාදැක්වීම ද අත්තනෝමතික අන්තවාදයකි.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නීතියේ රැකවරණයට අසු වී සිටින කීපදෙනෙකුට මරණය ළඟා කර දීමෙන් ජනාධිපතිවරයා මර්ධනය කිරීමට උත්සාහ කරන්නේ ද හේතුව නොව ඵලයටය. ඒ අය මත්ද්‍රව්‍ය ජාවාරමේ හාල්මැස්සන් මිස තෝරු මෝරන් නොවේ.

මත්ද්‍රව්‍ය දේශපාලනය
මත්ද්‍රව්‍ය ජාවාරම් රටේ දේශපාලන ක්‍රියාවලියේම කොටසකි. පවතින දේශපාලන තේරීම් ක්‍රියාවලිය තුළ බලය ලබා ගැනීමට නම් අසීමිත මූල්‍ය අනුග්‍රහයන් අවශ්‍යමය. එය සපුරාගත හැකි පහසුම ක්‍රමය වන්නේ දූෂිත ඉපැයීම් මාර්ගවලින් සහ දූෂිත ඉපැයීම් මාර්ගවල අනුග්‍රහයෙනි. එය අහෝසි කිරීමේ සාධනීය ක්‍රියාමාර්ග ගැනීමට කිසිවකුට වූවමනාවක් නැත. කිසිදු සාධනීය ව්‍යවස්ථා සංශෝධනයකට ඔවුන් සුදානම් නැත. ගැටලුවට හේතුව ඇත්තේ එතැනය. ප්‍රතිකර්ම අවශ්‍ය කරන්නේ ඒ හේතුව අහෝසි කිරීමටය. එය ප්‍රමාදය.

කුමන දේශපාලන පොරාන්දු දී ආවත් බලය ලැබුණු විගස පාලකයාගේ ප්‍රමුඛ අරමුණ වන්නේ බලය රැකගැනීම සඳහා සටන් කිරීමය. ජේ.ආර්. හඳුන්වා දුන් දේශපාලන මොඩලයේ ආනිසංශය ඒ. ඔහු දෙවරක් බලයේ සිට බලය අතහැර ගිය ද ඔහුට පසුව ආ සෙස්සන් තම නිල කාලය ඉවත් වූ පසුත් පොරබදන්නේ බලය යළි අත්පත් කර ගැනීමටය. එක් වතාවකින් බලය අතහරින බවට බලයට පත් වී ප්‍රසිද්ධියේම තම මුල්ම පොරොන්දුව කඩ කරමින් මෛත්‍රි ජනාධිපතිතුමාත් දැන් අරගල කරන්නේ යළි බලයට පත් වීමටය. මේ බල ව්‍යුහය ඒ තරමටම පාලකයා පිරිහෙලයි.

මේ දේශපාලන බල ව්‍යුහයේ පරිවාරය හෙවත් පාර්ලිමෙන්තුව නිර්මාණය වන්නේ දුෂිතයන්ගෙනි. කලින් දුෂිතයකු වී සිටීම හෝ පසුව දුෂිතයකුවීම පවතින දේශපාලන ක්‍රමය තුළ පැවැතීමට අනිවාර්ය කොන්දේසියකි. ඒ නිසා කිසිවිටෙක ප්‍රශ්නයේ සැබෑ හේතුවට අත තැබෙන්නේ නැත. සියලු දුෂිතයන් සහ අපරාධකරුවන් පාර්ලිමෙන්තුව තුළ රැකවරණ ලබා සිටින විට හෝ පාර්ලිමෙන්තුවට අරක්ගත් අයගේ අනුග්‍රහය ලබන විට මත්ද්‍රව්‍ය ජාවාරම නැවැතීම මේ කපේදී කළ නොහැක්කකි.

ජනාධිපතිතුනි පුඵවන්නම් මේ ටික කරලා පටන් ගන්න.
ජනාධිපතිතුමාට හෝ රජයට මත්ද්‍රව්‍ය මැඩලීමට අවංක චේතනාවක් තිබේනම් මරණ දණ්ඩණය කෙසේ වෙතත් පාර්ලිමෙන්තුවේ රැකවරණ ලබන අපරාධකරුවන් හෙළිදරව් කිරීමටවත් අවම වශයෙන් හැකි විය යුතුය. මෛත්‍රි ජනාධිපතිතුමාගේ මත්ද්‍රව්‍ය මැඩලීමේ ව්‍යාපාරය සද්භාවයෙන් සිදු කරන්නක් නම්

(01) සතොස කන්ටෙනරයේ කුඩු රැගෙන ආ පුද්ගලයා රටට හෙළි කළ යුතුය. ඔහුට දඬුවම් කළ යුතු ය. (අඩුතරමේ සිර දඬුවමක්වත්)
(02) කලුතර නීති විරෝධි ඉස්කාගාරය පවත්වාගෙන යෑමට අනුග්‍රහය ලබා දුන් දේශපාඥයා නීතියට කොටු කර පෙන්විය යුතුය. ඔහුට දඬුවම් කර පෙන්වීය යුතු ය.
(03) මාකඳුරේ මදුෂ් හෙළිදරව් කළ ආණ්ඩු පක්‍ෂ සහ විපක්‍ෂ මැති ඇමැතිවරුන් කව්ද යන්න හෙළිදරව් කළ යුතුය. ඔවුන්ට දඬුවම් කර පෙන්වීය යුතු ය.

රටේ සාමාන්‍ය පුරවැසි අපරාධකරුවන් වෙත යොමු විය යුත්තේ දෙවෙනුවය. වරදකරුවන් වී සිරගත වූවන් එල්ලා මැරීමට වඩා පාර්ලිමෙන්තුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෙළිදරව් කිරීම අද අවශ්‍යය. වැඩ පටන් ගත යුත්තේ එතැනිනි. එයට හේතුව ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් පවත්වාගෙන යන්නේ තම දේශපාලන බල න්‍යාය පත්‍රයේම පැවැත්ම සඳහා ය. එහි අංගයක් ලෙසය. ඔවුන්ගේ පැවැත්ම අහෝසි නොකර මත්ද්‍රව්‍ය මේ කපේදී ඉවර කළ නොහැකිය.

මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම රටේ අද දැවෙන අවශ්‍යතාවයකි. එහෙත් ඒ සඳහා ඇති දේශපාලන රැකවරණ ඇතිතාක් කල් මත්ද්‍රව්‍ය මැඩිය නොහැකිය. ඒ සඳහා ඇති හොඳම විසඳුම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අය එල්ලා මැරීම නම් මූලින්ම කළ යුත්තේ දේශපාලන බලය උඩ මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් යහතින් රැකී සිටින එකෙකු ඉස්සෙල්ලාම අල්ලා එල්ලා මැරීම ය. අඩු තරමේ ඔවුන් වරදකරුවන් කර සිපිරි ගෙයට දැමීමෙනි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අනුග්‍රහය දෙන්නන් අපේක්‍ෂක ලැයිස්තුවලින් කපා හැරීමට සියලු පක්‍ෂ නායකයන්ට හැකි විය යුතුය. ජනාධිපතිවරයා මූලින්ම අත තැබිය යුත්තේ එතැනටය. මත්ද්‍රව්‍ය චෝදනා ඇති හෙළිදරව් කර ඒ අයට අපේක්‍ෂකත්වය ලබා නොදීමට සියලු පක්‍ෂවලට බල කළ යුතු ය. එසේ කළ නොහැකි නම් ඒ කාර්ය ජනතාවට මැතිවරණයකදි කළ හැකිය.

මරණ දඩුවමට වඩා ඵලදායි ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ජනතාවට සහභාගි විය හැකි ය. ඊළඟ චන්දයේදී ජනතාවට එවැන්නක් අහෝසිකර හේතුව අහෝසි කිරීමේ ක්‍රියාමාර්ගයකට යා හැකි ය. එහෙත් ඒවා කිසිවක් මේ රටේ කිසිදා සිදු නොවන බව රටේ ජනතාවට ඉර හඳ මෙන් සහතිකය. අපේ රටේ දේශපාලනය එතරමටම දූෂිතය. දෙබිඩිය. වංකය.






Tuesday, 25 June 2019

#1: Suffering Sri Lanka with Bloodsheds


තිත්තම තිත්ත ඇත්තම ඇත්ත

“මේක තව ශක වර්ෂයක් ගියත් හැදෙන්නේ නැති රටක්” ඉහත ප්‍රකාශය සිදු කළේ රට හැර ගොස් වෙනස් රටක පදිංචි වීමට තීරණය කළ, රටේ සුපතල කීර්තිමත් නමක් ඇති මගේ හිතවතෙකි. රට ගැන වඩා සංවේදීව කල්පනා කරන බොහෝ අය මේ කථාව කියනු මා අසා ඇත. මෙය ලියන මට ද එසේ සිතුණු සහ සිතෙන වාර අනන්තය. එහෙත් කළ යුත්තේ පලා යෑම නොව අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම සඳහා මැදිහත්වීම බව මම තවමත් කල්පනා කරමි.

හැදෙන්නේ නැති රටක ජීවත්වීම
ශ්‍රී ලංකාව දියුණු රටක් සහ දියුණු සමාජයක් බවට පත් කළ හැක්කේ කෙසේදැයි කල්පනා කරන ඕනෑම පුද්ගලයකු ඉදිරියේ ප්‍රශ්න ගොන්නක් පෙළ ගැසේ. ඒවා කිසිවක් පිළිතුරු නැති ප්‍රශ්න නොවේ. එහෙත් ඒ ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගැනීමට අවශ්‍ය අවංකභාවය, කැපවීම සහ මැදිහත්වීම මේ රටේ බොහෝ පුරවැසියන් තුළ නැත. රට කරවන සහ ඊට කැසකවන නායකයන් තුළ එවැන්නක් කිසිසේත්ම ප්‍රදර්ශනය නොවේ. ඔවුන් තුළ පවතින වංකභාවය, දුෂිත බව, වංචනික බව සහ දෙබිඩි බව රට දිනෙන් දින අඳුරෙන් අඳුරට ගමන් කරවනු දැකිය හැකිය. ජනසමාජයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන ජාත්‍යන්තර තලයේ දියුණු වූ විශ්වීය සංකල්පයන් පවා ඔවුන් අතින් දුෂණයට සහ අපහරණයට ලක් වී තිබේ.





යහපාලනය ගැන කථා කිරීමට නොහැකිය. එය මහ දවාලේම දූෂණයට සහ අපහරණයට ලක් කර තිබේ. සාමය සංහිදියාව, ජාතික ඒකාබද්ධතාව වැනි සංකල්පය ද ඒ ලෙසින්ම අපහරණයට හා දූෂණයට ලක් වූ සංකල්පය. එහෙත් ඒ සංකල්ප මඟහැර අපට රටේ මූලික ප්‍රශ්න ගැන කථා කිරීමට නොහැකිය. පෙර කී සංකල්පීය වදන් යොදා ගත් විගසම සමාජයේ බහුතරය තුළ ඇති වන්නේ නිශේධනීය විරෝධිය ආකල්පයකි. එය ද අප අද මුහුණ දී සිටින බරපතල ඛේදවාචකයේම ඵලයකි.

කලින් සඳහන් කළ ආකාරයේ රටේ වගකිව යුතු පුරවැසියකු ලෙස මා ඉදිරියේ පෙනෙන, ශ්‍රී ලංකා ජන සමාජය තව දුරටත් ගොඩනැගීමට නොහැකිවන සේ ගිල්වා තබන ප්‍රශ්නාවලියේ පළමු ගැටලුව දෙසට මම මගේ අවදානය යොමු කිරීමට කල්පනා කරමි.

වසර 07කට වරක් ලේ වගුරුවන රටක් 
ශ්‍රී ලංකා භුමිය තුළ මනුෂ්‍යයකු ලෙස ඉපැදි ජිවත්වීමට මට ලැබුණු කාලය මේ වන විට දශක පහමාර ද ඉක්මවා තිබේ. ඒ කාල සීමාවෙන් වැඩි කාලය වැසි ගියේ රටේ වෙසෙන ජනතාව කොටස්වලට කැඩි උනුන් නසාගත් බරපතල ගැටුම් වලිනි. 1971 සහ 1989 වසරවලදී ඇති වූ දකුණු සමාජයේ කැරැලි හැරුණු විට 2019 පාස්කු ප්‍රහාරය දක්වා ඇති වූ ගැටුම් සියල්ලම මේ ගැටුම් ක්‍රියාවලියේ විවිධ අවස්ථාය. 1971 සහ 1989 ගැටුම් ද රටේ ජාතික ඒකාබද්ධතාව පිළිබඳ ගැටුමේ වෙනස් මුහුණුවරකි. සම්පත් සාධාරණව බෙදී නොයෑම, ප්‍රදේශවාදය සහ කුල පීඩනය එම ගැටුම්වල අධෝ ව්‍යුහාත්මක තලය නියෝජනය කරන බව පැහැදිලිය.
2019 පාස්කු ප්‍රහාරය ද බොහෝ අය අයිඑස්අයිඑස් ජාත්‍යන්තර ත්‍රස්තවාදී න්‍යයාපත්‍රයේ ගිණුමට බැර කිරීමට උත්සාහ කළ ද එහි වැඩි පංගුවක් ගැට ගැසී ඇත්තේ දශක ගණනාවක් තිස්සේ අපේ රටේ වර්ධනය වෙමින් පවතින රටේ මූලිකම ගැටලුව සමඟය. අ`ඵත්ගම සහ බේරුවල සහ දිගන සිදු වූ ම්ලේජ්ච  ප්‍රහාරයන් සිදු නොවිනි නම් පාස්කු ප්‍රහාරය වැන්නකට අයිඑස් අයිඑස් සංවිධානය ලංකාව තෝරා නොගන්නට ඉඩ තිබුණු බව මගේ දැඩි විශ්වාසයයි. ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයේ පළමු චොදනාව එල්ල කළ යුත්තේ ඉහත ප්‍රහාරයන් පිටුපස සිටි අයවලුන්ටය.

පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විග්‍රහ කොට දක්වන ආකාරයට අපේ රටේ දරුණු ලේ වැගිරීමක් සිදු නොවී ගත වූ උපරිම කාලය අවුරුදු 07කි.https://youtu.be/PWUUWAZ24x0?t=1532 ඒ ප්‍රකාශය සත්‍යයක් නම් අඛණ්ඩ ලේ වැගිරීම් සිදු කර ගැනීම අප රටේ අනන්‍ය ලක්‍ෂණයකි. ඒ සදහා මේ රටේ ජිවත් වන ජනයා ගෙවා ඇති වන්දිය සු`ඵ පටු නැත. අප රටට වඩා අතිශයින් දිළිඳුම පැවැති කරුමක්කාර රටවල් ලෙසින් හංවඩු ගැසී තිබූ රටවල් පවා මේ වන විට ලෝකයේ ප්‍රබල දියුණු රටවල් බවට පත් වී තිබිය දී අප අවම වශයෙන් වසර 7කට වරක් මහා ලේ වැගිරීම් සිදු කරමින් ලෝකයේ තිබෙන නොදියුණුම අපකිර්තිමත් රටවල් නාමාවලියේ ඉහළට ගමන් කරමින් සිටිමු. අප සැම විටම අප සමඟම සිටින ජන කණ්ඩායමක් තම සතුරකු හඳුනා ගනිමින් ගැටුම් නිර්මාණය කරමින් සිටිමු. රටේ ජනතාව මේ වන විට එකිනෙකාට සතුරුව තැතිගත් සිතින් කල් ගෙවන්නට පටන් ගෙන තිබේ. මු`ඵ සමාජයම නව ආකාරයක තුන් බියකින් පෙළෙන්නට පටන් ගෙන තිබේ. රටේ දේශපාලන බල පොරයේ යෙදී සිටින සියල්ලෝ මේ තත්ත්වය දඩමීමා කරගෙන බොරදියේ මාලු බෑමේ වියරු රංගනයක යෙදී සිටිනු දක්නට ලැබේ.

ජනතාවට එපා වූ රටක්
සුව පහසු රටක ජිවත්වීමේ සිහින ඇති බොහෝ අයද, තමන්ට මේ රටේ සමාන පුරවැසියන් ලෙස නොසලකා හැරීමට ලක් වී තිබෙන බව හඟින අය ද රට හැර දමා වෙනස් රටවල පදිංචියට යති. ඒ සියලු දෙනාටම ලෝකයේ වෙනත් රටවල දොර හැරී තිබේ. ඇමෙරිකානු ග්‍රීන් කාඞ් වැනි පුරවැසිභාවය ලබා දෙන ලොතරැයි වාසනාවක් ලද හැකි නම් යන්තම් හෝ ඉංග්‍රිසි භාෂාව ගැටගසා ගත හැකි මෙරට මාධ්‍යම පාන්තික සමාජයේ වැඩි පිරිසක් රට හැර යෑමට සුදානම්ය. ඔවුහු ඒ සඳහා සිහින දකිති. ඒ සඳහා ඉල්ලුම් කරති.




රටේ උගත් වෘත්තිකයන් බහුතරය සිටින්නේ කල කිරීමෙනි. පීඩාවෙනි. ඉච්චාභංගත්වයට පත් වීමෙනි. හෘද සාක්ෂියට පිටුපා ක්‍රියා කළ හැකි යමෙක් සිටී ද ඔහු නියත වශයෙන්ම රටේ පාලකයන් ආදර්ශයට ගෙන කම්බ හොරුන් බවට පත් වී සිටිති. ඔවුන් ඉදි කරන ගෙවල් දොරවල් යනෙන යාන වාහන සහ ගත කරන සුකුමාර ජිවිත ඉදිරියේ සියල්ලෝ දුර්මුඛය. ආගමික නායකයෝ තම තමන් ආරක්‍ෂා වන දහමේ නිර්මලත්වය සහ චිරස්තිතිය පිළිබඳ කොතරම් වර්ණනා ඉදිරිපත් කළ ද ඔවුන් පවා අඩු වැඩි වශයෙන් මෙම මඩ ගොහොරුවේ ගිලී සිටිති. මඬේ නොඑරී මඩ තවරා නොගෙන පියුමක් සේ මතුව පැවැතිය හැක්කේ අතිශයින්ම කලාතුරකින් අනෙකුට පමණි.

මේ සියලුම තත්ත්වයන් වර්ධනය වෙමින් සමාජය දිනෙන් දින කුණු වෙමින් යන්නේ එකිනෙකට ගැටගැසුණු ප්‍රශ්න වැලක ප්‍රතිඵල ලෙසිනි. ඒ සියලු දේ සිදු වන අතරේ අවම වශයෙන් වසර 7කට වරක් අපේ සමාජය උනුන් නසාගන්නා දරුණු ලේ වැගිරීමකට ලක්ව ආ ගමන ද ගව්ගණනකින් ආපස්සට ගමන් කරති. එසේ නම් එකී ප්‍රශ්න වැලේ පළමු ප්‍රශ්නය කුමක් ද?.

අප තවමත් ශ්‍රී ලංකාව මත වසන ජනසමාජය හැටියට අපට හිමි අනන්‍යතාව කුමක්දැයි පැහැදිලි කරගෙන නැත. ඒ පිළිබඳ ඇතැම් ස්ථරයන්හි යම් යම් එකඟතාවන් ගොඩනැගි ඇතත් සමස්ත සමාජයේ ව්‍යුහාත්මක පදනම ගොඩනැගි ඇත්තේ ඊට පරස්පරවය. රටක් ලෙස අපට අපේ අනන්‍යතාව කුමක් දැයි හරි හැටි පැහැදිලි කරගෙන එය සමාජ සම්මතයක් බවට පත් කරගෙන ඊට අදාල නව රාජ්‍ය පාලන සුසමාදර්ශයන් තනා ගැනීමට නොහැකිවීම අප රට මුහුණදී සිටින බරපතල ප්‍රශ්නය බව මගේ කල්පනාවයි.
මේ වන විට අප පට්ට ගසා ඉවත දමා ඇති වචන වන “සාමය” “සංහිදියාව” සහ “ජාතික ඒකාබද්ධතාව” ගොඩනගා නොගෙන මේ සමාජයේ ඉදිරි ගමනක් පිළිබඳ කල්පනා කිරීම කාලය අපතේ යැවීමකි. මං මුලා වීමකි. මුග්ධභාවයට පත් වීමකි.

ඇත්තටම අපි කව්ද?
මෙම ලිපිය ලියන අතරේදී ගත් විරාමයකදී මට අසන්නට ලැබුණු බෞද්ධ ගුවන් විදුලි නාලිකාවක ධර්ම දේශනයක් වදාරමින් සිටි ස්වාමින් වහන්සේ නමක විසින් කළ සෙත් ප්‍රාර්ථනාව තුළ මෙරට වෙසෙන සිංහල බෞද්ධ ජනතාවට ද සියලු සත්වයන්ට ද වශයෙන් කළ සෙත් පැතීම අසාගෙන සිටි මට හැගුණේ මා අවදානය යොමු කරන රටේ බරපතලම ප්‍රශ්න විසිරි පැතිරී තිබෙන ආකාරයයි. උන් වහන්සේ සෙත් පැතීමේදී සිංහල බෞද්ධ යනුවෙන් කුලකගත කිරීම තුළ මෙරට වෙසෙන ලක්‍ෂ පනහකට ආසන්න ජනතාවක් නොතකා හරින ලද බවට හැඟීමක් මට ඇති විනි. ඒ සමඟම උන් වහන්සේ සියලු සත්වයින්ට සෙත් පැතීමේදී මුලින් අතහැරුණු ලක්‍ෂ පනහකට ආසන්න සිංහල බෞද්ධ නොවන ජනතාව ඊට ඇතුලත් වූයේ දැයි මට ඉතා සැක සහිතය. 
ශ්‍රී ලංකාව බෞද්ධයන් වැඩි දෙනා පුනරුප්පත්තිය පිළිබඳව විශ්වාස තබති. මේ ආත්මයේ සිංහල බෞද්ධයන් වී සිටින සියලු දෙනා තමන් පෙර ආත්මවලදීද සිංහල බෞද්ධයන් වී සිටිය බවට සාක්‍ෂි තිබේද?. එසේම මේ ආත්මයේ සිංහල බෞද්ධ වන සියලු දෙනා ඊළඟ ආත්මයේදී සිංහල බෞද්ධයන් වී උපදින බවම තිබෙන සහතිකය කුමක්ද?. ඉන් යමෙකු සිංහල බෞද්ධයන් නොවී තිරිසන් ආත්මයක ද නොඉපිද දෙමළ හෝ මුස්ලිම් අයෙකු වී ඉපදුණු හොත් තම අනන්‍යතාව පිළිබඳ ඔවුන් ගන්නා ස්ථාවරත්වය කුමක් ද?. මේ පිළිබඳ ඊ.ඩබ්ලියු අධිකාරම්තුමා නැගු ප්‍රශ්නයට කිසිවෙකු තවමත් පිළිතුරු දී නැත.






තිත්තම තිත්ත වූ ඇත්තම ඇත්ත
පසුගිය දවසක මංගල සමරවීර ඇමැතිවරයා මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් පමණක් නොව මේ රට වසන සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයාට අයිති රටක් බව ප්‍රකාශ කළ වහා තම ප්‍රතිමල්ලවයා බිඳ හෙලීමට එය කදිම අවස්ථාවක් කරගත් දකුණු පලාතේ දේශපාලකයෝ ඉතා අවස්ථාවාදි ලෙස ජාතිවාදය අවුස්සමින් මහා මතවාදි කලබගැනියක් ඇති කළහ. මංගල සමරවීර නැමැති දේශපාලකයාගේ ප්‍රකාශය පිළිබඳ කළ පැහැදිලි කිරීමක් සහිතව මුහුණු පෙතේ පළවූ පෝස්ටුව කට යම් එකඟතාව පළ කරන අදහසක් දැක් වූ පසු මට දක්නට ලැබුණේ මංගල සමරවීර ඔබ සමඟ සමකාමි රමණයක යෙදුණේ ද යන්න අමුසිංහලෙන් අසමින් දැන් වූ අසංස්කෘතික ප්‍රතිචාරයකි. මංගල සමරවීර ඇමැතිවරයාගේ ප්‍රකාශය ඔස්සේ ජනතාව කුපිත කරමින් අපේ රටේ වගකිව යුතු දේශපාලකයන් නැටූ නාඩගම පැහැදිලි වශයෙන්ම ඊළඟ මැතිවරණයේදී කෙසේ හෝ රාජ්‍ය බලය අල්ලා ගැනීමේ සාපිපාසාවෙන් පෙලෙන්නන් තම බල න්‍යාය පත්‍රය ගොඩනැගීම සඳහා ගොඩනගා ගත්තක් බව පැහැදිලි වන්නේ එම දේශපලකයා මෑත අධිකරණයෙන් සහ සමාජයෙන් එල්ල වී ඇති චෝදනා සලකන විට ය.

 පසුගිය දශක හතක අතීතය පිරී ඇත්තේ මෙම තිත් වූ ඇත්ත ඉදිරියේ වංචනික වූ දේශපාලන මං පැහැරීම් වලිනි. මේ සියලු මංපැහැරීම් ඉදිරියේ දී අපට මුහුණදීමට සිදු වන උභතෝතෝටිකයක් තිබේ.
රට තුළ තිරසාර සාමකාමි සහජිවනයක් පවත්වා ගැනීමකින් තොරව ලබා ගත හැකි සංවර්ධනයන් හෝ ඉදිරි ගමනක් නැත. රටේ වෙසෙන ජනතාවගෙන් හතරෙන් එකක් නියෝජනය කරන්නේ සිංහල නොවන ජනවර්ග විසිනි. එම මු`ඵ ප්‍රමාණය ලක්‍ෂ පනහකට අඩු වැඩි වශයෙන් ආසන්නය. රටේ ආගමික ප්‍රතිශතකය අනුව රටේ ජනගහණයෙන් 30%ක්ම නියෝජනය කරන්නේ බෞද්ධ නොවන ජනතාවකි. ඉහත කී සිය`ඵ දෙනාම මෙරටේ ජිවත්වීම පිළිබඳ ශතවර්ෂ ගණනාවකට එහා ගිය අතීතයක් තිබේ. ඒ අනුව රටේ ජනගහණයෙන් හතරෙන් එකක් එනම් දළ වශයෙන් අඩු වැඩි වශයෙන් ලක්‍ෂ පනහක ජනතාවක් නොසලකා පීඩනයට පත් කර හෝ ඔවුන් රටේ දෙවන පෙළ පුරවැසියන් ලෙස තබා ගැනීමට අදහස් කරන මතවාදයන් තුළින් රට තුළ සාධනීය සාමයක් හෝ සංහිදියාවක් පවත්වා ගත හැකිද?.






රටේ සියලු දේශපාලන පක්‍ෂ මේ වන විට තම පක්‍ෂ ව්‍යවස්ථාවල මේ රට බහු වාර්ගික බහු ආගමික රාජ්‍යයක් බව ලියා අවසානය. මේ රටේ වසන සියලු ජනතාව ශ්‍රී ලාංකීය ජාතිය ලෙස සලකා කටයුතු කළ යුතු බව ඔවුන් ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන අවසානය. රටේ පාසැල් අධ්‍යාපනයේ පළමු අරමුණ ලෙස ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම බව අවධාරණය කර දශක දෙකකට වඩා කල් ඉක්ම ගොස්ය. එහෙත් මංගල සමරවීරගේ ප්‍රකාශය නිසා ඇති වූ ආන්දොලනය ඉදිරියේ අපේ රටේ බහුතර දේශපාලකයන්ගේ කටේ පිට්ටු සිරවී තිබිණි. ඔවුන්ගේ ව්‍යවස්ථාවන් ඇතුළත් වගන්ති ඉදිරියේ ඔවුන් ගො`ඵවත රැක්කේ ඉදිරි මැතිවරණවලට ඉන් විය හැකි අලාභය සලකාය.

ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම හුදු ප්‍රලාපයක් පමණක් බවට පත් වී තිබේ. එය යථාර්ථයක් බවට පත් වීමට නම් ඒ සඳහා මතවාදීව මෙන් ම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ රැසක් සිදු කළ යුතුය. එහෙත් ඒ සඳහා අප තවමත් ප්‍රමාදය. අප දිගින් දිගටම කල් ගෙවන්නේ රටේ වෙසෙන විවිධ ජනවර්ගයන් සහ ආගමිකයන් එකිනෙකාට තුවාල කර ගනිමිනි. අවම වශයෙන් වසර 7කට වරක් මහා ලේ වැගිරීමකට ගමන් කිරීමෙනි.

ගෞතම බුදුන්ගේ දහමට එරෙහිව

ගෞතම බුදුරාජානන් වහන්සේගේ උත්තම දේශනාවක් වූ “වෛරයෙන් වෙරය සංසිඳෙන්නේ නැත” ඉගැන්වීම උපුටා දක්වමින් ජපානයේ ඇවිලී ගිය යුධ ගින්න නිවන්නට මැදිහත් වූ ශ්‍රී ලාංකීය දේශපාලඥයා 1983 කලු ජූලිය ඇති කරනට සියලු පහසුකම් සලසා දී 30 අවුරුද්දක් පුරා දිවගිය යුද්ධයකට පාර කැපුවේය.
මහා වාර්ගවාදී කුරීරු ශාපලත් යුද්ධයකින් අති දැවැන්ත සදාතනික කැළල් ප්‍රමාණයක් සතු කරගත් රාජ්‍ය තුළ යුද්ධය අවසන් වී තවත් අවුරුදු හතක් ගෙවෙන්නට පෙර කලු ජූනියන්ද නිර්මාණය වූයේය. අ`ඵත්ගම බේරුවල ඇවිලුන ඒ ගින්න යළි වසර කීපයක් ගෙවෙන්නට මත්තෙන් යළි දිගනින්ද මතු වූයේය. අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන්ට කිතුණුවන්ට එරෙහිව තම ජාත්‍යන්තර පළිගැනීම සිදු කර පෙන්වන්නට සුදුසුම දේශය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වූයේ මේ තුළිනි. ඒ තුළින් රටට කලු අප්‍රේලයක් ද නිර්මාණය වී තිබේ.


සමාජය වෙලාගත් තුන් බිය
මේ වන විට අපගේ රට අ`ඵත් ආකාරයේ තුන් බියකින් වෙලී සිටි. ඒ සිංහල බෞද්ධ අන්තවාදයත්, ඊලම්වාදය සහ වහබ්වාදයත් විසින් මතු කරන ලද ත්‍රස්තවාදයන්ය. පීඩිතයන් ද අවසානයේ පීඩිතයෝ බවට පත් වී සිටිති. මේ වන විට මේ රටේ වෙසෙන සියල්ලෝ එකිනෙකාට බියෙන් ජිවත් වීමට කටයුතු සැලසී තිබේ. ඉතිං මෙරට තව ශත වර්ෂයක් ගියත් හැදෙන රටක් නොවන බව විවෘත මධ්‍යස්ත පුරවැසියන්ට වැටහී යෑම ඇරුමයක් ද?.




මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් බව පවසන මතවාදින් ප්‍රකාශ කරන්නේ සෙසු අයට එම මතවාදයට අවතනව මෙහි විසීමට බාදාවක් නොවන බවයි. එළිපිට නොතිව්වත් ඔවුන් නොකියා කියන්නේ සිංහල බෞද්ධ නොවන ජනතාව සිංහල බෞද්ධ ආධිපත්‍යයට අවනතව දෙවන පෙළ පුරවැසියන් ලෙස කල් ගෙවිය යුතු බවයි. ඔවුන් එසේ කියන්නේ ශත වර්ෂ ගණනාවක් තිස්සේ මෙරට වැඩී ස්ථාවර වූ බුදුදහමේ ක්‍රියාකාරිත්වය තුළ තවමත් කුලවාදය බැහැර කිරීමට අසමත්ව තිබිය දීය. කුල පීඩිත සිංහල බෞද්ධයන්ට සමාන ලෙස සැලකීමට කුලීන සිංහල බෞද්ධයා තවමත් කිසි ලෙසකින් සුදානම් නැත. එය තහවුරු කර දක්වන කැපි පෙනෙන සිදු වීම් දෙකක් පසුගිය දිනවල මාධ්‍ය වලින් හෙළිදරව් කර තිබිණි. ජාතික වීර ලැයිස්තුවට නම් ඇතුළත් කිරීම් සඳහා කළ ජාතික උත්සවයේදීත් ත්‍රිපිටකය ලෝක උරුමයක් බව ප්‍රකාශයට පත් කිරීම සඳහා පැවැති ජාතික උත්සවයේදීත් නිකාය දෙකක නායකස්වාමින් වහන්සේලාට සමඅසුන් නොපනවා වෙනස් කොට සැලකීම  රටේ ඔඩුදුවාගිය ගැටලුවක නවතම ප්‍රකාශනයකි.

 අතීතයේත් පසුගිය දිනවලත් සෙසු ආගමිකයනට එරෙහිව සටන් බිමට බට ස්වාමින් වහන්සේලා එසේ හැසිරීමට පෙළඹවනු ලබන්නේ කුල පීඩිත පසුබිම ඔස්සේ බව අනාවරණය කරන ලිපියක් පසු ගිය දිනෙක නන්දන වීරරත්නගේ මුහුණු පොතේ පළ කර තිබිණි.  view-source:https://www.facebook.com/nandana.weerarathne?epa=SEARCH_BOXබොහෝ කුල පිඩිතයින් දේශප්‍රේමීත්වය මුල්කර ගනිමින් සටන් බිමට පිවිසෙන්නේ කුල පීඩනය හරහා තමනට අහිමි වූ සමාජ පිළිගැනීම නැවත අත්පත් කර ගැනීමේ උපාය මාර්ගය ලෙස බව තහවුරු කර ගත හැකි සාක්‍ෂි බොහෝ එවන් පුද්ගල චර්යාවන් හැදැරීමෙන් පැහැදිලි වේ. ජාතිවාදි පතරොම්වලට යොදා ඇත්තේ කුලවාදී වෙඩි බෙහෙත් බව ටික්ටර් අයිවන් මහතා තහවුරු කරන්නේ එම යථාර්ථයයි.

අපේ හැදුනුම්පත සොයා ගැනීමේ ජාතික අභියෝගය
මේ සියලු විස්තර සහ විග්‍රහයන් මා ඉදිරිපත් කළේ ප්‍රශ්නයේ බැරෑරුම්කමත්, එය විහිදී ඇති පරාසයත් වඩා හොඳින් පැහැදිලි කර ගැනීම සඳහා ය. දැන් යළිත් අප අපේ මූලික ප්‍රශ්නය අපෙන් අසාගත යුතුය. අපි ඇත්තටම කව්ද? අපි යනු මේ රටේ වසන සියලු ජනයාය. රටක් හැටියට ජන සමාජයෙන් හැටියට අපට ඇති අනන්‍යතාව කුමක්ද?.

ලක්‍ෂ පනහක ජනතාවත් බැහැර කර ගොඩනැගූ මතවාදයක් ඔස්සේ ගොඩනගන රාජ්‍යයක් තුළ අපට අනාගතයක් තිබේද?. එය ගොඩනගන්නට හැක්කේ එකී ලක්‍ෂ පනහකට ආසන්න ජනතාවක් මහ මුහුදට හෙලා ද? සමුල ඝාතනය කර ද? නැතිනම් ඔවුන් මේ රටේ දෙවන පෙළ පුරවැසියන් ලෙස ඔවුන්ගේ අත්පා බැඳ දමා බිය ගන්වාද?. එසේත් නොවේ නම් මෙරටට ආදරය කරන මේ රටේ ජිවත් වීමට කල්පනා කරන සියලු පුරවැසියන් එක් ජාතියක් තුළට ඇතුළත් කර ගන්නා මතවාදයක් යථාර්ථයන් බවට පත් කිරීමෙන් ද?.

එක් ජාතියක් ගොඩනැගීමේ කාර්ය සඵලමත් වන්නේ එය දෙවැදෑරුම් කි‍්‍රයාවලියකින් පසුව ය. එනම් ඇතුළත් කර ගැනීමට සුදානම්වීම හා ඇතුලත් වීමට සුදානම් වීම තුළිනි.මේ රට  සිංහල තව දුරටත් බෞද්ධ රාජ්‍යයක් ලෙස නාමකරණය කිරීමෙන් සිදු වන්නේ සෙසු ජනතාව බැහැර කිරීමය. ඒ වෙනුවෙන් දශක හත අටක් තිස්සේ අප ගෙවා ඇති වන්දිය තවදුරටත් ගෙවිය යුතු ද?.


ඒ සමගම ඇතුළත් වීමට සුදානම්වීම ද අත්‍යවශ්‍ය පරිවර්තනයකි. දිගු කාලයක් ඇතුලත් කරනොගෙන බැහැර කර තිබීම නිසාම දෙමළ සහ මුස්ලිම් සමාජ වෙනත් රටවල සමජාතීන් සම`ග අනන්‍ය වීම නිසා රටට අත් වූ ආනිසංස රටට ඔරොත්තු නොදෙන තරම්ය. ඒ ස`දහා දෙමළ සමාජය සහ මුස්ලිම් සමාජය වඩා නම්‍යශීලි වෙමින් කැප කිරීමකට සුදානම් විය යුතුය. දෙමළ සමාජය දකුණු ඉන්දියාවට අනන්‍ය වීමට උත්සාහ කිරීම ද මුස්ලිම් සමාජය අවිචාරී ලෙස අරාබිකරණය වැළ`ද ගැනීම ද මහත් විනාශකාරී ප‍්‍රතිඵල දෙන්නකි.






මට අවසානයේ ඉතිරිවන ප්‍රශ්නයක් තිබේ. සිංහල බෞද්ධ රාජ්‍යයක් තුළ ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනගන්නේ කෙසේද?. මතවාදය විපරිතයක් වූ විට ඒ මත ගොඩනැගෙන ක්‍රියාවලිය ද විපරිතයක් වීම වැලැක්විය නොහැකිය. විපරිත මතවාදයක් ඔස්සේ ගොඩනැගු රාජ්‍යයක ප්‍රතිඵලය දැන් රටේ සමස්ත ජනතාවටම පාරාවලල්ලක් වී තිබේ.
කෙසේ නමුත් මට ඒ ප්‍රශ්නයට පිළිතුරු නොදෙමි. ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමේ වගකීම රටේ මු`ඵ ජනතාවටම අයත් එකකි. රටේ දැවෙන මුලිකම ප්‍රශ්නය ලෙස හැඟෙන්නේ මෙම ප්‍රශ්නයයි. එයට නිසි පිළිතුරකින් තොරව මේ රටට නැවත නැවතත් සිදු වන ලේ වැගිරීම්, ජිවිත හා දේපල විනාශයන් මිස ඉදිරි ගමනක් නැත. අප මුලින් අපගේ අනන්‍යතාව හඳුනාගත යුතුය. “අපි” යනු රටේ පුරවැසි සමස්ත ජනතාවමය. ඉතිං ඇත්තටම අපි කව්ද? ප්‍රශ්නය ඔබ හමුවේ තබමි. පිළිතුර සොයා ගැනීම සඳහා ඉඟියක් ද සපයමි.https://www.facebook.com/bankoloththarka/videos/477950749608233/?t=2